HomeSri Lanka Newsමෙරට විද්‍යාඥයන්ගේ පර්යේෂණ විදේශයන්ට ලබා දීම නවතනවා...

මෙරට විද්‍යාඥයන්ගේ පර්යේෂණ විදේශයන්ට ලබා දීම නවතනවා…

-

විද්‍යාගාර වැනි අදාළ පහසුකම් නොමැති වීම නිසා මෙරට බිහි වූ විද්‍යාඥයන් විදෙස් රටවලට සිය පර්යේෂණ හා දැනුම ලබා දෙන තත්වයක් අද උදා වී ඇති අතර එය මගහරවාගෙන ඒ විද්‍යාඥයන් හා මෙරට සිටින විද්‍යාඥයන් අතර සම්බන්ධීකරණයෙන් ඔවුන්ගේ දැනුම, නවෝත්පාදන ආදියේ වටිනාකම මව් රටට ලබාගැනීම සිය උත්සාහය වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ජාතික විද්‍යා දින උත්සවය අමතමිනි. අව්‍යාජ තරුණ අරගලකරුවන්ගේ සැබෑ වුවමනාව වූයේ පවත්නා ක්‍රමයේ සමස්ත ව්‍යුහමය වෙනසක් බවත් දේශපාලනඥයන්ගේ මාරුවීම පමණක් නොවන බවත් පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල, නවෝත්පාදන ඇතුළු සෑම ක්ෂේත්‍රයක ම මේ සැබෑ පරිවර්තනීය වෙනස සිදු විය යුතු බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වුවද තමන්ට පමණක් ඒ කාර්ය කළ නොහැකි අතර සෑම දෙනකුගේ ම සහභාගීත්වයෙන් එය සාර්ථක කරගත යුතු ව ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනේ දී ‘විද්‍යා e-news ’ වෙබ් අඩවිය එළි දැක්වුණු අතර පාසල් විද්‍යා සමාජ ජාලය වඩාත් ශක්තිමත් හා පුළුල් පරාසයක විහිදුවමින් පාසලට විද්‍යාව සමීප කිරීමේ වැඩසටහනක් ද ආරම්භ විය. ජාතික විද්‍යා පදනමේ 50 වෙනි සංවත්සර විශේෂ කලාපය සහිත වාර සඟරාව එළි දැක්වීම හා ජාතික විද්‍යා පදනම මගින් සංවිධානය කරන ලද පාසල් තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීම ද මෙහි දී සිදු විය.

විද්‍යා කාර්යසාධනය මත හොඳ ම පාසල් පහක් තෝරා ජයග්‍රාහකයන්ට ‘තරු පහ’ සම්මාන ප්‍රදානය හා විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගුරුවරුන්ට ජාතික විද්‍යා පදනමේ යාව-ජීව විශේෂ සම්මානය පිරිනැමීමත් සිදු කෙරුණු මෙම වැඩසටහනේ දී විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා කළ මහඟු සේවය අගයා ජීවිතේ එක් වරක් පමණක් පිදෙන විශේෂ යාව-ජීව සම්මාන දෙකක්, අශෝක ටී. ද සිල්වා හා තුසිත මලලසේකර යන මහත්වරුන්ට පිරිනැමීම ද විශේෂත්වයකි.

‘තිරසර අනාගතය සඳහා විද්‍යාව – දේශීය හා ගෝලීය ප්‍රවණතා’ තේමාව යටතේ ගුරු-සිසු පාසල් ප්‍රජාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් පැවති මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම් දීපා ලියනගේ මහත්මිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන්, දේශීය විද්‍යාඥයන්, ජාතික විද්‍යා පදනමේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන් ම සම්මානලාභීන් ඇතුළු සිය දෙනකු පමණ සජීවී ව සහභාගී වුණු අතර මාර්ගගත ක්‍රමයට සහසම්බන්ධ වූ දේශකවරුන්, සිසු-ගුරු-දෙගුරුන් 500ක පමණ පිරිසක් ද සමග දෙමුහුන් වැඩසටහනක් ලෙස මෙය පැවැත්විණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version