HomeSri Lanka Newsමැයි 06 වැනිදා පවත්වන හර්තාල් ව්‍යාපාරය ඔබට බලපාන්නේ කෙසේද?

මැයි 06 වැනිදා පවත්වන හර්තාල් ව්‍යාපාරය ඔබට බලපාන්නේ කෙසේද?

-

මැයි 06 වැනිදා පවත්වන හර්තාල් ව්‍යාපාරය ඔබට බලපාන්නේ කෙසේද?

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් මැයි 06 වැනිදා පැය 24ක හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සැලැසුම්කර තිබේ.

ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාලය, සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු සිදුකෙරෙන අඛණ්ඩ වර්ජනය සහ අඛණ්ඩ හර්තාලය මැයි 11 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති හ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

හර්තාල් දින දුම්රිය නවතියි. නිවාසවලත් කළු කොඩි දමන්නැ යි ඉල්ලීමක්

මැයි 06 වැනිදා පැවැත්වෙන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් හෙට (මැයි 05) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනය කරයි.

කඩසාප්පු හා වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයට එක්වන ලෙස වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද ඉල්ලා සිටියි.

Harthal May 6 Sri Lanka

 

හර්තාල්, විරෝධතා ව්‍යාපාරය, සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා සියලුම නිවාසවල හා ගොඩනැගිලිවල ද කළු කොඩි ප්‍රදර්ශනය කරන්නැ යි ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.

“මේ හර්තාලය සාර්ථක වෙනවා කියන්නේ ආණ්ඩුව පන්නන ගමන ඉක්මන් වෙනවා. මේ රටේ ජන අරගලය දිනන එක සහතික වෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කළේ අගමැති බිල්ලට දී ආණ්ඩු බලය ආරක්ෂාකර ගැනීමට සූදානමක් පවතින බව යි.

“ආණ්ඩුව ලෑස්තිවෙනවා අගමැතිව බිල්ලට දීලා, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා වෙලා, ආණ්ඩු බලය ආරක්ෂාකර ගන්න. අපිට ආරංචියි අලුත් අගමැති කෙනෙක් ගේන්න ලෑස්ති වෙනවා කියලා. ඩලස් වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, විවිධ නම් කියවෙනවා. අගමැති කෙනෙක් ගේන්න හදනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි පැහැදිලිව ඒගොල්ලන්ට කියනවා, මෙතන අරගලයේ සටන් පාඨය තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් විය යුතු යි කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරගෙන, ජනාධිපතිකම ආරක්ෂා කරගෙන, විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගෙන එන විසඳුමකට කිසිම ආකාරයකින් මේ අරගලයේ ඇත්තට ඉන්න බලවේග එකඟවෙන්නේ නැහැ, මේ කොළ සෙල්ලම කරන ආණ්ඩුවට අපි අවධාරණය කරනවා,” ඔහු කියා සිටියේ ය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙවැන්නකි: “අපි ආණ්ඩුවට කියනවා මේ වැඩ කරන පන්තිය යි, සමස්ත ජනතාව යි එක්කහුවෙලා කරන මේ ක්‍රියාමාර්ගය තුළ ගෙදර යන්න කියලා. එහෙම ගෙදර නොගියොත් අපි තවත් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂයකට වැඩි ජනතාවක් කොළඹට ගේන්න මීළඟ සතියේ අපි බලාපොරොත්තු වෙනවා.”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ ජනතාවගේ හඬට කන් නොදෙන ආණ්ඩුවට බලපෑමක් කිරීම සඳහා මැයි 06 හර්තාල් දිනය, ජාතික විරෝධතා දිනය සාර්ථකකර ගැනීමට උපරිම දායකත්වය සහ සහයෝගය ලබාදීමට ජාතික ජන බලවේගය සූදනම් බවකි.

“ජනතාව කියනවා ආණ්ඩුවට ගෙදර යන්න, ජනාධිපතිට යන්න කියලා. ජනතාව කියද්දි ආණ්ඩුවට යි ජනාධිපතිට යි ගෙදර යන්න කියලා, ඒ ජනාධිපති දේශපාලන පක්ෂවල අපිට කතා කරනවා එයත් එක්ක ආණ්ඩුව හදාගන්න එන්න කියලා. ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලේ යන පාටක් නැහැ ලේසියෙන්,” ඔහු පැවසුවේ ය.

ලංකා පෞද්ලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ ලබන 06 වැනිදා බස් රථ ධාවනය සම්බන්ධයෙන් සංගමය මෙතෙක් කිසිදු තීරණය ගෙන නොමැති බව යි.

ඕනෑම බස් රථහිමිකරුවෙකුට තම අභිමතය පරිදි ස්වයං තීරණයක් ගැනීමට නිදහස ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය.

 

රෝහල් ප්‍රතිකාර සේවාවලට මොකද වෙන්නේ?

වෛද්‍ය නිලධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියලු කාර්යයමණ්ඩල මැයි 06 වැනිදා වෙනිදා උදෑසන 7 සිට පැය 24ක් වර්ජනය කිරීමට, එම වෘත්තීය සමිති විසින් ඒකමතික තීන්දුවක් ගෙන තිබේ.

අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල සපයනු ලබන අතර, මහජනතාවට වන අපහසුතාවයන් අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රෝහල් වෙත නොපැමිණෙන ලෙස ද වෘත්තීය සමිති මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සයවැනිදා පෙරවරු 9 සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන අතර, මෙම හර්තාල් ව්‍යාපාරයේ දී මහජනතාවගේ පොදු දේපළට කිසිදු හානියක් සිදුකිරීම හෝ ප්‍රචණ්ඩත්වය කිසිවිටෙකත් අනුමත නොකරණ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

වැඩ වර්ජනයට සහාය දෙන්නේ නැහැ – වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ජනපති හමුවේ පවසයි

“පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින්” ලබන 06 වැනිදා සිදුකිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන කීපයක වෘත්තිය සමිති නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළ බව යි.

ජනාධිපතිවරයා සමග ඊයේ (මැයි 03) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී අදාළ වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසූහ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හමුවූ වෘත්තීය සමිති මොනවා ද, වෘත්තීය සමිති නියෝජිතයින් කවුරුන් ද යන්න ජනාධිපති මාධ්‍ය අංශය විසින් අනාවරණය කර නැත.

අපේක්ෂිත වැඩ වර්ජනය සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදුකෙරෙන්නක් බව එම වෘත්තිය සමිති නියෝජිතයන් පැවසුවේයැ යි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

“ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේදවලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ. එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතු ය,” ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.

පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටුකළ සේවකයින්ට සිය ස්තූතිය පළකළ ජනපති, “පවතින තත්ත්වය වටහාගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන” ලෙස සියලුම වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් මේ අවස්ථාවට එක්ව සිටි බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version