HomeSri Lanka Newsකොළඹ වරායේ වර්ජනය සහ ඉන්දීය සම්බන්ධය ගැන මේ කරුණු දැන සිටියාද...?

කොළඹ වරායේ වර්ජනය සහ ඉන්දීය සම්බන්ධය ගැන මේ කරුණු දැන සිටියාද…?

-

කොළඹ වරායේ වර්ජනය සහ ඉන්දීය සම්බන්ධය ගැන මේ කරුණු දැන සිටියාද...?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට රැගෙන එන ලද නව ගැන්ට්‍රි දොඹකර තුනක් ජුනි 20 වැනිදා සිට ගොඩබෑමට නොහැකිවීම මුල් කරගෙන ආරම්භ කර තිබූ සේවක වර්ජනය ජූලි 03 වැනිදා දහවල් 12.00ට අවසන් කෙරුණි.

සියලු දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය එම වෘත්තීය අරගලය දියත් කරනු ලැබුවේ ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමිනි.

එම ඉල්ලීම් වන්නේ:

  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු විය යුතු අතර එහි මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුත්තේ වරාය අධිකාරිය විසින් පමණි.
  • වරායට රැගෙනවිත් තිබෙන නව ගැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා ගොඩබෑමට පියවර ගත යුතුය.

වරායට රැගෙන එන ලද නව ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම දින 14ක් තිස්සේ ප්‍රමාද කිරීමට හේතුව ඉන්දියාවේ බලපෑමක් බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“අපි අහන්නේ මෙතනට ගෙනල්ල දිනකට එක්කෝටි දස ලක්ෂයක් ගානේ දින 14ක් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඉන්නේ ඇයි ? දැන් අපේ රජයෙන් කියන්නේ ඉන්දියාවේ බලපෑමක් කියලා. අපි කියන්නේ ඉන්දියාවේ බලපෑමක් නෑ, එකඟතා ලියවිල්ලක් විතරයි අත්සන් කළේ. ගිවිසුමක් නෑ,” යනුවෙන් සංජය කුමාර වැලිගම පැවසුවේය.

වරාය වෘත්තීය සමිති නායකයන් සඳහන් කරන පරිදි මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට ඉන්දියාවේ බලපෑමක් තිබේද යන්න ගැන සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සමඟ ඉන්දියාවේ කිසියම් සම්බන්ධයක් තිබේ දැයි බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළේය.

මෙම ව්‍යාපෘතිය සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර අත්සන් කර ඇති සහයෝගිතා ගිවිසුමක දැක්වෙන අතර, ඒ ගැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවියේ තොරතුරු සඳහන් වන බව බීබීසී ය කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (මාධ්‍ය තොරතුරු හා සංස්කෘතික) නේහා සිං ප්‍රකාශ කළා ය.

ඉන්දියාව සහ ජපානය සමග ශ්‍රී ලංකාව අත්සන් තැබූ ගිවිසුම

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන රජයන් අතර 2019 මැයි මාසයේදී සහයෝගිතා ගිවිසුමක් [Memorandum of Cooperation] අත්සන් කර ඇත. රජයන් තුනක් අතර ඇතිකරගත් එම එකඟතාවය ගැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිළ වෙබ් අඩවියෙහි 2019.05.27 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත.

එහි දැක්වෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන බවය.

එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදු කිරීමට ඇති කරන පර්යන්ත මෙහෙයුම් සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් 51%ක් ශ්‍රී ලංකාව සතු වන අතර ඉතිරි 49%ක් ව්‍යාපාර හවුල්කරුවන්ට හිමිවන බවය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොළඹ වරායේ පාලනය

කොළඹ වරායේ ජයබහළු පර්යන්තය (JCT) ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ. දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (South Asia Gateway Terminals (SAGT) සහ කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය Colombo International Container Terminals (CICT) හි මෙහෙයුම් වලින් 15%ක් පමණක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වෙයි.

ජයබහළු පර්යන්තයේ සවිකර ඇති දොඹකර වසර 30ක් පමණ පැරණි බව ද වරාය සේවකයෝ පවසති.

එබැවින් කොළඹ වරායේ විශාල නැව් හසුරවමින් වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමේ අරමුණින් නැගෙනහිර පර්යන්තය East Container Terminal (ECT) ඉදි කර ඇත.

නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18කි.

වෙනත් පර්යන්තයක සවිකිරීමට ඉල්ලුම් කළ දොඹකර තුනක්

වරාය අධිකාරියේ කළමනාකාරිත්වය මත පමණක් මෙහෙයුම් සිදු කිරීමට අධියර 05 නමින් කුඩා පර්යන්තයක් සැදීමේ සැලැස්මක් පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. ඒ සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් ශ්‍රී ලංකාව ඉල්ලුම් කර තිබු අතර පසුගිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ එම දොඹකර තුනයි.

මෙම ගැන්ට්‍රි දොඹකර පළමුව සැළසුම් කර තිබුණේ අලුතින් සාදන පර්යන්ත අධියර 05 හි සවිකිරීම සඳහා ය. මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුව භාර ගන්නා විට එම ගිවිසුම අවලංගු කළ නොහැකි නිසා එම ගැන්ට්‍රි දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට හැකි වන පරිදි නැවත වෙනස් කිරීමකට ලක් කිරීමට අදාළ සමාගමෙන් ඉල්ලා සිටි අතර, එලෙස සවිකිරීමේ පහසුවට වෙනස් කළ ගැන්ට්‍රි දොඹකර තුනක් ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ආ බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

සේවක විරෝධය අවසන්

මෙම ගැටලුව මුල් කරගෙන වරාය සේවකයන් සතියක් පුරා විරෝධතා සිදු කළ අතර බලධාරීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් අලුතින් ගෙන්වන ලද දොඹකර මත නැග වෘත්තීය සමිති නායකයෝ තිදෙනෙක් උපවාසයක් ආරම්භ කළහ.

ජූලි 02 වැනිදා කොළඹදී විරෝධතාවයක් ද පැවති අතර කොළඹ වරායේ සියලු සේවකයෝ වැඩ වර්ජනයට ද එක් වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයන් ජූලි 03 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරිණ.

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ මෙලෙස අදහස් පළ කළේය.

“වරායේ බාන්නේ නැති දොඹකර බාන්නත්, ඉදිරියේදී මේ තියෙන ගිවිසුම් කැබිනට් එකට ආවම සාකච්ඡා කරලා ඒ පිළිබඳව විසඳුම් ලබා දෙන්නත් අගමැතිතුමා පොරොන්දු වුණා,” යනුවෙන් ඔහු කියා සිටියේය.

ජූලි 03 වැනිදා පස්වරුවේ ගැන්ට්‍රි දොඹකර තුන ගොඩබෑම ආරම්භ කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version