HomeSri Lanka Newsඅර්බුදය අතරේ ඉන්දියාව ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක...

අර්බුදය අතරේ ඉන්දියාව ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක…

-

අර්බුදය අතරේ ඉන්දියාව ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක…

ඉන්දීය සාගරය තුළ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම හේතුවෙන්, පසුගිය වසර 15 තුළ ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාව සමග හිතකර රාජ්‍යතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා ගොඩනගා ගැනීම සඳහා එකිනෙකා අතර තරග කරමින් සිටියෝ ය.

පසුගිය සමයේ චීනය ඉන්දියාව අභිබවා යෑමට සමත්වූ බව පෙනෙන්නට තිබුණත්, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා දේශපාලන කැළඹීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට නව ජීවයක් ලබාදී ඇතිබව පෙනේ.

1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මැදිව සිටියි. ඉහළ යන මිල ගණන් සහ ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව කෝපයට පත්ව සිටින අතර, රට පුරා විරෝධතා දක්නට හැකි ය.

පසුගිය සතියේ, රාජපක්ෂ ආධාරකරුවන් සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් පසු මාරාන්තික ප්‍රචණ්ඩත්වයක් ඇතිවූ අතර, මහින්ද රාජපක්ෂ අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය.

අගමැතිධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය යහපත් අතට හැරීමට ප්‍රථම වඩාත් අයහපත් අතට හැරෙනු ඇති බව යි.

ඔහු ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් මූල්‍ය ආධාර ඉල්ලා සිටියේ ය.

ඉන්දියාව කිසි විටෙක ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන්නෙකු නොවීය. 2019 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ විදේශ ණයවලින් 10%කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කීවේ චීනය යි.

ආර්ථික අර්බුදය හිස ඔසවමින් පැවති 2021 මුල් භාගයේ දී, ශ්‍රී ලංකා රජය සිය විදේශ විනිමය හිඟයට මුහුණදීම සඳහා චීනයෙන් යුවාන් බිලියන 10ක (ඩොලර් මිලියන 148) මුදල් හුවමාරු පහසුකමක් ද ලබා ගත්තේ ය.

නමුත් දැන් ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාලතම ආධාර සපයන්නෙකු බවට පත්වෙමින් සිටියි.

ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 51ක විදේශ ණය රැස්කරගෙන ඇත. මෙම වසරේ දී, මෙම ණයෙහි පොළිය ලෙස ඩොලර් බිලියන 7ක මුදලක් අවශ්‍ය වනු ඇති අතර, ඉදිරි වසරවල දී ද එවැනිම මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3ක හදිසි ණය ද අපේක්ෂා කරයි.

ලෝක බැංකුව ඩොලර් මිලියන 600ක් ණයටදීමට එකඟ වී ඇතත්, ඉන්දියාව ඩොලර් බිලියන 1.9ක් ඒ සඳහා වෙන්කර තිබේ. එසේම, ඉන්දියාව ආනයන සඳහා අමතර ඩොලර් බිලියන 1.5ක ණයක් දීමට ද ඉඩ ඇත.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට පොහොර ටොන් 65,000ක් සහ ඉන්ධන ටොන් 400,000ක් එවා ඇති අතර, මැයි මස අවසානයේ දී තවත් ඉන්ධන නැව් මෙරටට පැමිණීමට අපේක්ෂිත ය. තවත් වෛද්‍ය සැපයුම් එවීමට ද ඉන්දියාව ඉදිරිපත් වී සිටියි.

ඊට හිලව් වශයෙන්, බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය භාවිතයට ඉන්දීය තෙල් සංස්ථාවට අවසර දෙන ගිවිසුමක් ඉන්දියාව ඉදිරිපත් කරයි.

ත්‍රිකුණාමලය ආසන්නයේ මෙගාවොට් 100ක බලාගාරයක් ගොඩනැංවීමට ද ඉන්දියාව අපේක්ෂා කරයි.

ඉන්දීය උදව් හොඳට ද, නරකට ද?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඉන්දියාවේ අත පෙවීම නිසා ශ්‍රී ලංකාවේ “ස්වෛරීත්වයට බාධා ඇතිවිය හැකි” බව යි.

“පසුගිය වසර එකහමාරක ඉඳන් ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන අර්බුදය ඉන්දියාව තම අවශ්‍යතා ඉටුකර ගන්න භාවිතා කර ඇති බවයි අපට පේන්නේ. ඔව්, එයාලා ණය, බෙහෙත් සහ ආහාර ලබා දුන්නා, නමුත් එයාලා අපේ මිතුරෙක් නොවෙයි. එයාලට සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා,” චීන හිතවාදී අදහස් දරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

Pabuda Jayagoda of the Frontline Socialist Party
 

නමුත් ඇතැමුන් ඉන්දියානු උදව් අගය කරයි.

“අපේ දුක් කරදරවලට ඉන්දියාවට දොස් කියලා වැඩක් නැහැ,” ඉන්දියාව සමග ගණුදෙනු කරන කොළඹ ළූණු ආනයනකරුවෙකු වන වී. රත්නසිංහම් පවසයි. “අපි තාමත් ඉන්දියාවෙන් හොඳ මිලකට ළූණු ගන්නවා. අර්බුදකාරී අවස්ථාවල දී එයාලා අපට ණය දෙනවා. ළූණු මිල තුන් ගුණයකින් ඉහළ ගියේ ශ්‍රී ලංකා රජයේ අසාර්ථකත්වය නිස යි.”

ඉන්දියාවේ අභිප්‍රාය පිළිබඳ සැකය මතුවන්නේ ශ්‍රී ලංකාව චීනය සමග ඇති බැඳීම් පසුබිම් කරගෙන ය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව චීනය දෙසට නැඹුරු වීම, “දේශීය ආර්ථික සංවර්ධනයට ඉඩ සැලසෙන වඩාත් විශ්වාසදායක සහකරුවෙකු” සමග එක්වීමක් බව විශ්වාස කෙරිණි.

ඩොලර් බිලියන ගණනක හම්බන්තොට වරාය, කොළඹ-ගාල්ල, කොළඹ කටුනායක, මධ්‍යම අධිවේගී මාර්ගය, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති වැඩි වැඩියෙන් චීනයට පිරිනැමිණි.

2014 දී චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ පළමු කොළඹ සංචාරය ද ඉන්දියාවට දුන් පැහැදිලි ඉඟියක් මෙන් විය.

වර්තමානයේ හම්බන්තොට පොදුවේ හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ “සුදු අලියෙකු” වශයෙනි. ශ්‍රී ලංකාව දැවැන්ත චීන ණය උගුලකට ඇද දැමූ තවත් මිල අධික ව්‍යාපෘති කිහිපයක් ද එසේම ය.

එම වේගවත් සංවර්ධනය ශ්‍රී ලංකාව වත්මනේ දී වැටී ඇති තත්ත්වයට ඇද දැමූ බව කොළඹ ගාලුමුවදොර පිටියේ බොහෝ ආණ්ඩු-විරෝධී විරෝධතාකරුවන් විශ්වාස කරයි.

ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 6.5ක් ණය වී ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.

යුවාන් සඳහා රුපියල හුවමාරු කර ගනිමින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමට චීනය මීට පෙර එකඟ වී තිබුණ ද, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපකාර පැතීම පිළිබඳව ඔවුන් දක්වන්නේ අප්‍රසාදයකි.

44 හැවිරිදි නූරා නූර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, සිය පවුල ද සමග ගාලු මුවදොර කඳවුරු බැඳගෙන සිටියි.

“ආපු චීන සල්ලිවල ගණන්හිලව් කවදාවත් බැලුවෙ නෑ නේද? නැත්නම් මොකද මගේ රට ගෙවීම් පැහැර හරින්නේ? දැන් සියලුම සැපයුම් ඉන්දියාවෙන් එන නිසා මං අහන්නේ, අපි විශ්වාස කළ යුත්තේ කාව ද – චීනය ද ඉන්දියාව ද?” ඇය අසයි.

කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහනයක් වේයැ යි සිතන ඇතැම් ශුභවාදීහු ද සිටිති.

“ශ්‍රී ලංකාව චීනය සමග ගැටෙන්න ද යන්නේ? එහෙනම්, ඒකෙන් ඇති වෙන්න පුළුවන් අනෙකුත් අයහපත් තත්ත්වයන් නිසා වහාම එය වළක්වන්න ඕන. සබඳතා සමතුලිතව පවත්වාගැනීම අත්‍යාවශ්‍යයි,” ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු ද අයිලන්ඩ් පුවත්පතට ලිවීය.

ඉන්දියාවේ උදව්

ඉන්දියාව තම අසල්වැසි රටෙහි වැඩෙමින් පැවැති චීන බලයට සමවීමට දැඩි උත්සාහයක් දරා තිබේ.

2014 ජනාධිපති ෂී ගේ සංචාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊළඟ වසරේ කොළඹට පැමිණියා පමණක් නොව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් තමන් “හොඳම මිතුරන්යැ”යි ද ප්‍රකාශ කළේ ය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක, සහ හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග, තමන් බලයේ සිටි සමයේ දී ඉන්දියාව ඉතා පරිත්‍යාගශීලී වූබව සිහිපත් කරයි.

“මම 2015 දී ඛනිජ තෙල් සහ වරාය අමාත්‍යාංශ දෙකම භාරව හිටියා. මුදල් හිඟකම නිසා අපි යාපනය ගුවන්තොටුපළ ඉදිකරගන්න බැරුව හිටියේ. මම උදව් ඉල්ලන්න දිල්ලි ගියා. අගමැති මෝදිගේ රජය මුලින් සහනාධාර ණයක් ලබා දීලා, පසුව එය ආධාරයක් බවට පත් කළා. ඊට වඩා දෙයක් අසල්වැසියෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?”

2019 දී රාජපක්ෂවරුන් නැවත බලයට පැමිණීමත් සමග, ඉන්දියාව ද සිය විදේශ ප්‍රතිපත්ති විකල්පයන් ප්‍රතිසංවිධානය කළ අතර තෙල් සහ ආහාර භාණ්ඩ පිළිබඳ නව ගිවිසුම් කඩිමුඩියේ අත්සන් කරන ලදී.

චීනයේ වැඩි ප්‍රතිචාරයක් නොමැතිවම, කොළඹ සහ දිල්ලිය අතර රාජ්‍ය සංචාර සිදුවිය.

ශ්‍රී ලංකාවේ දෙමළ සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නය සහ ඔවුන් අයිතිවාසිකම් ඉල්ලා සිටීම, ඉන්දියාව සමග වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.

2009 සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබා දුන්නේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන පළාත් ද ඇතුළුව සියලු පළාත්වලට බලය බෙදා හැරීමට පොරොන්දු වූ 1987 ඉන්දියා-ශ්‍රී ලංකා සාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක කර නැත.

වත්මන් ආර්ථික අර්බුදය, ජාතීන් දෙක අතර ඇති සියලු දේශපාලන අර්බුද සියල්ල පරයා නැගී සිටියි.

ඉන්දීය-විරෝධී සහ චීනයට පක්ෂපාතී ලෙස පැවති ශ්‍රී ලංකාවේ මහජන මතය, ඉන්දියාව අත්‍යාවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමත් සමග වෙනස් වී ඇත.

කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක භවානි ෆොන්සේකා පවසන්නේ, “ඉන්දියාව මීට වසර 15කට පමණ පෙර චීනය හමුවේ පරාජය වුණා නමුත්, නැවත තරගයට පැමිණීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින” බව යි.

“ශ්‍රී ලංකාවේ වාර්ගික සුළුතරය ඉන්දියාව දකින්නේ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදියට යි. සිංහල බහුතරයට තවමත් ඉන්දියාව ගැන තියෙන්නේ මිශ්‍ර අදහසක්,” ඇය පවසයි.

“අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව මැදිහත් වෙයි කියලා සමහරු කනස්සල්ලට පත්ව සිටිනවා. ඒත් පසුගිය සති කිහිපයෙදි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලායි මට හිතෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
few clouds
31 ° C
31 °
31 °
75 %
3.2kmh
17 %
Sun
30 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version