‘එතුමාට ඕන විදිහටවත්, මට ඕන විදිහටවත් මේක කරන්න බෑ’: අලුත් අවුරුද්දට විදුලි බිල අලුත් වෙයිද ?
“2023 ජනවාරි මාසයේ අනිවාර්යෙන්ම විදුලි බිල සංශෝධනය සිදුකිරීමටත් අපි කටයුතු කරනවා. ජනවාරි මාසේ කරන එක තමයි අමාරුම, අසීරුම සංශෝධනය වෙන්නේ,” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා මාධ්‍ය හමුවකදී පැවසීය.
සංශෝධනය වෙන්නේ කොහොමද ?
අමාත්‍ය විජේසේකර පැවසුවේ අදාළ විදුලි බිල සංශෝධනය විය යුතු ආකාරය පැහැදිලි කරමින් ජනවාරි මස පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව යි.
“අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන සතිය වන විට, මම හිතන්නේ මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීම තියෙන්නේ ජනවාරි මස දෙවැනි දා. අපි සවිස්තරාත්මක වාර්තාවක්, විදුලි බිල වැඩි විය යුත්තේ කෙසේ ද, වැඩි කළ යුතු ආකාරය කෙසේ ද කියන මේ සියලුම කරුණු ටික සවිස්තරාත්මක තොරතුරුත් එක්ක අපි කැබිනට් මණ්ඩලයට ලබාදීමටත්. අපි ජනවාරි මාසය අනිවාර්යෙන්ම ඒ විදුලි බිල සංශෝධනය සිදුකිරීමට කටයුතු කරනවා,” අමාත්‍යවරයා පැවසීය.
“ඔවුන් යෝජනා කරලා තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 270ක් 300ක් අතර ප්‍රමාණයක් අමතරව අවශ්‍ය වෙනවා කියලා මේ තියෙන මුදලට අමතරව. මේ කියන මුදලට සරිලන ආකාරයට තමයි නව ගාස්තු ක්‍රමවේදය සකස් වෙන්නේ. මහජන උපයෝගීතා කොමිසම බැඳිලා ඉන්නවා නීතිමය වශයෙන් එය ක්‍රියාත්මක කිරීමට.”
“මාස හයකට වරක් තමයි එය යෝජනා කරල තියෙන්නෙ. ඒක මම හිතන්නේ, මේ ජනවාරි මාසේ කරන එක තමයි අමාරුම අසීරුම සංශෝධනය වෙන්නේ,” අමාත්‍ය විජේසේකර එහිදී කියා සිටියේය.
විදුලි ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවල දී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය දා පාර්ලිමේතුවේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ දී පැවසීය.
ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දිගින් දිගටම මාධ්‍ය හමුවේ පැවසුවේ එවැනි වැඩිකිරීමක් දැන්මම අවශ්‍ය නොවන බව යි.
දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බව ජාතික සභා අනුකමිටුවේ දී පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ, විදුලි ගාස්තු පසුගිය කාලයේ දී වැඩි කළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බව ද ප්‍රකාශ කළහ.
එහෙත් මෙතෙක් එවැනි කැබිනට් අනුමැතියක් ලබානොදුන් බව කැබිනට් ප්‍රකාශකවරයා කිහිප විටක් මාධ්‍ය හමුවේ පැවසීය.
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටු සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම කමිටුව රැස්විය.
විදුලි බල ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීමට සහ අදාළ යෝජනා ලබාගැනීම සඳහා විදුලි බල ක්ෂේත්රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයින්ගේ සහභගීත්වයෙන් පැවති රැස්වීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව පාර්ලිමේන්තු මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළ ද, එය දැරිය නොහැකි මට්ටමකට පැමිණ ව්‍යාපාර ආදිය කඩාවැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මෙහිදී පෙන්වාදෙනු ලැබීය.
මේ වන විට විදුලිබල මණ්ඩලය, බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු. කෝටි 65000කට (බිලියන 650) ආසන්න ප්‍රමාණයක් පවතින බව ද මෙහිදී තොරතුරු අනාවරණය විය.
ඉන් රු. කෝටි 3500කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සඳහා ගෙවීමට ඇතිබවත්, තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. කෝටි 7500ක් (බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයින් හෙළිකර ඇත.
ඉදිරියේ දී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. කෝටි 5000ක (බිලියන 50) ණය මුදලින් මෙම සැපයුම්කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
ජනවාරි මස සිට විදුලි බිල ඉහළ දැමිය නොහැකියි
මෙවැනි තත්ත්වයක් තුළ 2023 ජනවාරි මස සිට නැවතත් විදුලිබිල ඉහළ දැමීමට රජය සැරසෙද්දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ එසේ ජනවාරි මස සිට විදුලි බිල ඉහළ දැමිය නොහැකි බව යි.
“දැන් මේ පළවෙනිදා මේක කරන්න බෑ. අනිත් එක මෙතුමා දැනගන්න ඕන මේ ක්ෂේත්රයේ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මේකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට යන්න ඕන. එතුමාට ඕන විදිහටවත්, මට ඕන විදිහටවත් මේක කරන්න බෑ. කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය විදුලිබල පනතේ ලස්සනට ලියලා තියෙනවා,” රත්නායක අවධාරණය කළේ ය.
“ඉතිං ඒ ක්‍රමවේදයට යනකොට ලබන මාසේ විදුලි බිලේ සංශෝධනයක් අවශ්‍ය නම්, ඒ සංශෝධනය සඳහා අවශ්‍ය කරන යෝජනාව අපිට කරන්න ඕන. ඒ යෝජනාව දෙසැම්බර් 22 වෙනකන් තාම අපිට ඇවිල්ලා නෑ. ඒ ගැන ඉදිරි කාලයේ දී එයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ආපුවහම ඒ යන ක්‍රමවේදයට ගියහම මේක ජනවාරි මාසේ කොහොමත් කරන්න බෑ,” සභාපති රත්නායක පැවසීය.
“මොකද ඒකට අපිට මහජන උපදේශනයන් තියන්න ඕන. හැම කෙනෙක්ම මේකට ගෙන්නලා එයාලගේ අදහස් උදහස් ගන්න ඕන.
“එතකොට අපි මිනිස්සුන්ට දෙන්න ඕන දුන්න ස්ට්‍රක්චර් එක කොහොම ද කියල. අපි ඇඩ්වටීස්මන්ට්වලින් මිනිස්සුන්ට පබ්ලිෂ් කරලා මහජනතාවට ඒක දෙන්න ඕන. ඒ කාරණා කටයුතු කරපුවහම මේක අනිවාර්යෙන් කරන්න බෑ.”
“එතුමා කියනවා නම් මේක අනිවාර්යෙන් කෙරෙනවා කියලා, ඒ ක්‍රමවේදය මහජන උපයෝගිතා කොමිසම තාම දන්නේ නෑ මොකක්ද ඒ ක්‍රමවේදය කියලා. ඒ ක්‍රමවේදය කියනකම් අපි බලන් ඉන්නවා.”
“අපි බලන්න ඕන මේ එන යෝජනාව කොහොම ද, මේ යෝජනාව සාධාරණ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා ද, ඒ දත්ත පරික්ෂා කරලා තමයි අපිට කියන්න පුළුවන් සංශෝධනයක් වෙනව ද නොවෙනව ද කියලා.”
‘කළමනාකරණයේ දුර්වලතාවයන් හේතුවෙන් විදුලි බිල වැඩිකිරීම නොකළ යුතු යි!’
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා තවදුරටත් පවසුවේ පසුගිය මාස තුන ඇතුළත විදුලිබල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබා ඇති බව යි.
කළමනාකරණයේ දුර්වලතාවයන් හේතුවෙන් විදුලි බිල වැඩිකිරීම නොකළ යුතු බව ද ඔහු තවදුරටත් පැවසුවේ ය.
“අපිට ඉදිරි කාලයට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය යි, ඉදිරි කාලයේ දී ගල්අඟුරු නැතිකම නිසා විදුලි කප්පාදුවක් ඇති නොවන තත්ත්වයට පත්වෙන්න. දැන් මේ ප්රශ්නය තියෙන්නේ මේ මිලියන 500 මහජනතාවගෙන් මේ මෙතුමා කියනවා වගේ අයකරගෙන, ඊළඟ මාසේ මිලියන 39ක් ඕන, ඒක අයකරගෙන ඒකෙන් ගල් අඟුරු ගෙන්වනවා කිව්වොත් එක පදනම් විරහිත යි. මොකද මේ ආයෝජනය කෙරෙන්න ඕන රජය විසින්.”
“අපිට ඕන මිලියන 500 ගණන් හදලා ඒක මහජනතාවගෙන් අරගෙන ගල් අඟුරු ගෙන්වා ගැනීමේ හැකියාවක් නෑ නේ. අනිත් එක මේ ගල් අඟුරු කියන එක දැන් නේ මේ කරලියට ඇවිල්ල තියෙන්නේ? මම හිතන්නේ මේ දේශපාලන අධිකාරියට කිසිම අදහසක් නෑ, මේ ගල් අඟුරු කියන එක ලංකාවට ගෙන්වන්නේ 2011 ඉදලා. අද 2022. අවුරුදු 11කට කලින්. මේ අවුරුදු 11 කාලය තුළ අපිට ගල් අඟුරු ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුන ද? මේ ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ මේ මූල්‍ය අර්බූදය, මේ ඩොලර් ප්‍රමාණය, ඒ වගේම මේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් මිසක් වෙන එකක් නෙමෙයි. අපි කියන්නේ ගිය අවුරුද්දේ ගෙන්නගත්තා ක්‍රමයටම, ඊට කලින් අවුරුද්දේ ගෙන්න ගත්ත ක්‍රමයටම මීට අවුරුදු පහකට කලින් ගෙන්න ගත්ත ක්‍රමයටම ගෙන්වාගන්න.”
“මේ ව්‍යසනය නිසා ඇතිවුන ප්රශ්නය නිසා මහජනතාවගෙන් අය කරලා ගෙන්න ගන්න ඕන කියන එකේ කිසිම පදනමක් නෑ. ඒ බිලියන ගණනක ආයෝජනය මහා භාණ්ඩාගාරයෙන් රජයෙන් මෙතෙක් කල්, මේ චිරාත්කාලයක් කළා වගේ කරගෙන යන්න ඕන,” ජනක රත්නායක අවධාරණය කළේ ය.